Saturday, January 25, 2025

සුලබ වූ සලාමය..

    අප එකිනෙකා හමුවෙද්දි ප්‍රථමයෙන්ම හුවමාරු කරගන්නා වචන පෙළ නම් “ අස්සලාමු අලෙයිකුම්” ය. එය අප පුරුද්දක් බවට ද පත්ව හමාරය . නමුත් අප කීයෙන් කීදෙනා ද සලාමයේ සැබෑ අරුථ සහ ආනිශංස ගැන දැනුවත් ව එය හුවමාරු කරගන්නේ ? මෙය අප විසින් නිතරම හුවමාරු කරගන්නා සලාමය පිළිබඳ කෙටි සටහනකි.

   සලාමයේ ආරම්භය නම් ආදම් නබිගේ ආරම්භය හා පැරණිය. අල්ලාහ් ආදම් නබි තුමාව මැවූ අවස්ථාවේ ඔහුට “ ඔබ ගොසින් එහි වාඩි වී සිටින මලායිකාවරුන්ට සලාම් පවසන්න, එවිට ඔවුන් ඔබට සුභ පතයි. එයට හොඳින් සවන් දෙන්න මන් ද එය ඔබට හා ඔබගෙන් පැවත එන්නන්ට කරන සුභ ‍පැතීමයි.”  යනුවෙන් පැවසුවේ ය. ආදම් (අලෛ) තුමා එවිට ඔවුන් හට “ අස්සලාමු ‍අ‍ලෙයිකුම්” යනුවෙන් පැවසූ හ. එයට පිළිතුරු දුන් මලායිකාවරු “අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන් පිළිතුරු දුන් හ. එහි වරහ්මතුල්ලාහ් යනුවෙන් වැඩියෙන් කියැවුණි.(සහිහ් බුහාරි- වෙළුම 8 –පරිච්‍‍‍ජේදය79- හදීස් -6227)  මෙයයි අප නිතරම භාවිතා කරන සලාමයේ ආරම්භය .

    අස්සලාමු අලෙයිකුම් යන්නෙහි තේරුම ගත් කළ ඔබට එය සුභ ‍පැතීමකට එහා ගිය ප්‍රාර්ථනාවක් බව ගම්‍ය වේ. ඔව් ,අස්සලාමු අලෙයිකුම් යන්නෙහි ‍තේරුම නම් “ අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය ඔබට අත්වේවා” යන ප්‍රාර්ථනාවයි . ඔබ යම් කෙනෙකු දෙස බලා සලාම් පැවසීමෙන් සිඳු කරන්නේ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමයි, එයට පිළිතුරු ලබාදීමෙන් ඔවුන් ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරයි.

    සලාම් පැවසීමට තරුණ මහලු , ධනවත් දුප්පත් , කුඩා ලොකු යැයි කිසිඳු භේදයක් නැත. ඕනෑම මුස්ලිම්වරයෙකුට ඔබට සලාම් පැවසිය හැක. අස්සලාමු අලෙයිකුම් යන්න දේශ සීමාවලින් ඔබ්බට ගිය ලොව පැතිර සිටින සියලුම මුස්ලිම්වරුන් හට පොදු වූවකි. එම නිසයි ඉස්ලාමය සලාමය මනුෂ්‍යයින් අතර සහෝදරත්වය ආදරය හා කරුණාව පතුරුවන මාධ්‍යක්‍ ලෙස සලකන්නේ.

    නබි (සල්) තුමා පැවසූ බවට අබූහුරෛරා (රලි) වාර්තා කරයි,“ මාගේ ආත්මය කා සතුව තිබෙන්නේ ද, ඔහුගේ නාමයෙන් දිවුරා පවසමි, නුඹලා විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත, තව ද නුඹලා එකිනෙකා හට ආදරය කරන තුරු විශ්වාස කරන්නේ ද නැත. මා ඔබට යම් දෙයක් කියා දෙන්න ද , එය ඉෂ්ට කිරීමෙන් නුඹලා එකිනෙකා හා ආදරයෙන් බැ‍‍ඳෙයි ? එයනම් එකිනෙකා අතර සලාමය පැතිරවීමයි .” (තිර්මිදිවෙළුම 5 පරිච්ජේදය 23හදීස්  2688) , මින් පසුව ඔබ කිසියම් මුස්ලිම්වර‍යෙකු දෙස සලාම් නොපවසා මගහැර යන්නට පෙර මදක් සිතන්න ඔබ මේ ස්වර්ගයට ලඟා වීමට ඇති තවත් එක් අවස්ථාවක් නොවේ ද මඟහැර යන බව.

    තව ද, සලාමය ප්‍රථමයෙන් පැවසීම සලාමය ට පිළිතුරු දීමටත් වඩා උසස් බව දැන සිටියා ද? ඔව් එය එසේය, වරක් නබි (සල්) තුමා වෙත “පුද්ගලයන් දෙදෙනෙකු හමු වූ විට ඔවුන්ගෙන් ප්‍රථමයෙන් සලාම් පවසන්නේ කවුරුන් ද” යැයි විමසූ විට, එයට නබි තුමාගේ පිළිතුර වූයේ “ අල්ලාහ් ට වඩාත් සමීප පුද්ගලයා බවයි” යන්නයි. එම නිසා ඔබත් සහෝදර මුස්ලිම්වරයෙකු හමු වූ අවස්ථාවකදි සලාම් කීමට ඉස්සර වීමට මතක තබාගන්න.  (තිර්මිදිවෙළුම 5 පරිච්ජේදය 23හදීස්  2694)

    සලාම් පැවසීම මෙන්ම සලාමයට නිසි ආකාරයෙන් පිළිතුරු දීම ද අප සතු වගකීමකි . මෙය ශුද්ධ වූ අල් කුර්ආනයේ පවා පෙන්වා දි ඇත. අල්ලාහ් සූරා නිසා හි මෙසේ පවසයි “නුඹලාට සලාම් නැමැති සුභාශිංසණය පවසනු ලැබුවේ නම් එයට වඩා ලස්සන අන්දමින්, නැතිනම් එයම ආපසු පැවසිය යුතුය! නියතව අල්ලාහ් සියල්ල ගණන් ගන්නෙකුව සිටියි” ( සුරා නිසා 86)

    ඒ අනුව සලාම් පැවසීම යන සුළු ක්‍රියාව ආනිශංස සහ බරකත් ළඟා කර ගැනීම සඳහා වන මහත්උ රගුවකි. අවසාන වශයෙන්, සිතන්න! සලාමය කෙතරම් අපූරුද යන්න, අප කිසිවෙකුත් කවුරුන්වත් කොතරම් ප්‍රශ්න මැද සිටින්නේ දැයි නොදනිමු. නමුත් සලාමය මාර්ගයෙන් ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමු. අප නොදැන සිටිය ද ඒ මෙ‍ාහොතේ ඔවුන්ට අවැසිම දේ සලාමය ‍විය හැකිය.
    
    එහෙනම් අවසානයේත් අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් …………. යැයි අවසන් කරමි.

Written By

AFRAHA AKBAR ALI
Faculty of Law (R), 1st Year
University of Colombo

No comments:

Post a Comment

இஸ்லாம் கூறும் தாவரவியல் விஞ்ஞானம்

தாவரவியல் பற்றி அறிவியல் உண்மைகள் அல்குர்ஆனில் மிகத் தெளிவாகக் கூறப்பட்டுள்ளன. இதில் பல விடயங்கள் விஞ்ஞான அடிப்படையில் கூறப்படுகின்றன. இங்கே...